කලාව

කතා කරන බිත්ති

නිකුතුව02, 2019

කතා කරන බිත්ති

ෂලීන් වද්වානා |කර්තෘ

නිකුතුව02, 2019

පතංජලී පණ්ඩිත් |කර්තෘ

නිකුතුව02, 2019


නව දිල්ලි නුවර ලෝධි සිතුවම් දිස්ත්‍රික්කය ගවේෂණය කිරීමට ගිය චිත්‍ර කලාව හා සම්බන්ධ ඉතිහාසඥයන් දෙදෙනෙකු හට වැටහී ගියේ සියුම් එමෙන් ම සැලකිය යුතු අන්දමේ සමාජ වෙනසක් සැබෑ ලෙසින් ම ඇතිකිරීම සඳහා පොදු ස්ථානවල ඇති සිතුවම් ඉවහල් වන බවයි

තම බඩුමූට්ටු විකුණමින් මාර්ගය අසල රැඳී සිටින බටනලා විකුණන්නකු, පුවත්පතක් කියවමින් පොත් ගොඩක් පිටුපස හිඳ සිටින සීඛ් ජාතිකයකු, ඊට මදක් එහායින් අතුරා ඇති තම රසකැවිලි ගොඩ දෙස බලා සිටින වෙළඳසැල් හිමිකාරියක, උදාසීන අන්දමින් නෙත් යොමා සිටින හරකකු ආදී වශයෙන් කුඩා හෝ විශාල ඉන්දියාවේ ඕනෑ ම නගරයක නිතර දැකිය හැකි මෙවැනි දර්ශනයක කිසිදු අසාමාන්‍ය බවක් ගැබ් ව නොමැත. එහි ඇති එක ම අද්විතීය ලක්ෂණය නම් එකී ප්‍රාණවත් රූප සියල්ල සැබෑ ජීවිතයේ ඒවාට වඩා විශාල වීම සහ ඒවා වීදි බිතුසිතුවම්වල කොටසක් වීම වේ. විශ්වාස කිරීමට පවා නොහැකි වුව ද, මෙම අතිවිශාල සහ වර්ණවත් සිතුවම් නව දිල්ලි නුවර නිසොල්මන් පදිංචිකාර ජනපදයක් මුළුමනින් ම පාහේ වෙනස් කොට ඇත. ඒකාකාරී නීරස ගොඩනැගිලිවලින් සමන්විත එතරම් විශේෂී නොවන ප්‍රදේශයක් ලෙස පැවත, අද වන විට ලෝඩී ජනපදය සමාන්තර ලෝකයක ජීවයෙන් පිරුණු බහුරූපේක්ෂයක් හෝ අප අවට සහ ඉන් එහාට විහිදුණු වෘත්තාන්තවලට පණ පොවන ජීවමාන කැන්වසයක් බදු වේ. මාවත දිගට විහිදුණු හිස් බිත්ති ඉන්දියාවේ සහ ලොව පුරා සිටින චිත්‍ර ශිල්පීන් සඳහා කැන්වසයක් බවට පත් ව ඇති අතර ඔවුන් එම ප්‍රදේශය, පොදු ස්ථානවල ඇති සිතුවම් වලින් සපිරි ඉන්දියාවේ පළමුවැනි දිස්ත්‍රික්කය බවට පත්කර ඇත.

අතීතය

දකුණු දිල්ලියේ ලෝධි පදිංචිකාර ප‍්‍රදේශය 1940 කාලවකවානුවේ දී ඉදිකරන ලද්දේ රාජ්‍ය සේවකයන් සඳහා නිවාස සපයා දීමට ය. බ්‍රිතාන්‍ය යුගයේ ඉදිකරන ලද අවසාන පදිංචිකාර ප‍්‍රදේශය වූ මෙම සංකීර්ණය යටත්විජිත සමයේ ගෘහ නිර්මාණ ශිල්පය සතු සුවිශේෂ ලක්ෂණයක් වූ බැරැක්ක ආකාරයට නිවාස ස්ථාපනය කිරීම අයත් නවසම්ප්‍රදායික ඉදිකිරීම් පිලිඹිබු කරයි. වර්තමානයේ, පොදු ස්ථාන සිතුවම් කිරීමේ ව්‍යාපෘතියක කොටසක් වශයෙන් එහි ඒකක චිත්‍ර ශිල්පීන් අතින් සිතුවම් ව එම ජනපදය වෙනස් වීමකට ලක් ව ඇත.
අනේක වර්ණයන්ගෙන් දිදුලන එහි බිත්ති, මාවත් හා අතුරු මාවත්, කලාගාර බවට පත් ව ඇති අමුතු අකාරයේ වෙළඳසැල් සහ ආපනශාලා සහ නරඹන්නන් කිහිපදෙනෙකුගේ ඒකාකාර පැමිණීම යනාදියත් සමග එම ප්‍රදේශය ජනප්‍රියතා සටහන්වල ඉහළට පැමිණ ඇති අතර ලෝඪී සිතුවම් දිස්ත්‍රික්කය යන නව නාමය ලබාගැනීමට සමත් ව ඇත. සිතුවම් කලාව තෝරාගත් පුද්ගල කණ්ඩායමක් උදෙසා කැන්වසයක් මත පමණක් සීමා කළ නොහැකි ය යන සරල අදහසත් සමග වීදි සිතුවම් හෙවත් වර්තමානයේ ප්‍රචලිත ව හඳුන්වන ලබන පොදු ස්ථාන සිතුවම් කිරීමේ කලාව බිහි ව ඇත. මේ වනවිට ඒ සඳහා නෛතික හා සමාජමය පිළිගැනීම හිමි ව ඇති අතර 1960 කාලවකවානුවේ කුරුටු චිත්‍රවල අභාසය ලැබූ නාශකවාදයෙන් එය වෙන්කොට හඳුනාගෙන ඇත. පොදු ස්ථානවල ඇති සිතුවම්, කාර්යබහුල නගරවැසියන්ගේ ජීවිතවලට සහනය ලබාදෙමින් කාර්යබහුල නගරවලට ප්‍රීතිය එක්කරන බව පැවසේ. ලෝධි ජනපදයේ මෙකී වෙනස සෑම කොණකම පාහේ දැකිය හැකි වේ.

උසස් තත්වයේ පැරණි ඉන්දීය ගිනිපෙට්ටිවල දෘශ්‍යමාන සලකුණු මගින් ආභාසය ලැබ යොක් හා ෂ්රෙයෝ විසින් අඳින ලද Letters for Lodhi (ලෝධි වෙත ලිපි) නම් වර්ණවත් බිතුසිතුවම (වම) සහ කුඩා ගේ කුරුල්ලකුගේ ක්‍රියා තවත් අයකුගේ දෛවය හා සම්බන්ධ වන ආකාරය පවසන කතන්දරය පිළිබිඹු කරන සෑම් ලෝ විසින් අඳින ලද බිතු සිතුවම (දකුණ)

සිතුවිලි වෙනස් කරමින්

සිතුවම් හේතුවෙන් ජනපදයේ බිත්ති අලංකාර වීම පමණක් නොව, අවට ප්‍රදේශය වඩාත් පිරිසිදු හා ප්‍රීතිමත් එකක් බවට පත් වීම ද සිදු ව ඇත! එහි වැසියන්, වීදි වෙළෙන්දන්, වෙළඳසැල් හිමියන් හා මහනගර සභා සේවකයන් විසින් සමාජමය සාමූහිකත්වය හා නගරය පිළිබඳ ඇති අභිමානය, මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අස්පෘශ්‍ය ප්‍රතිඵල වලින් එකක් බවට පත්කොට ඇත. වර්තමානයේ සිතුවම් කලාව ජනපදයේ සමාජ ව්‍යූහය පුරාවට පැතිර ඇත. තම නිවාසවල පිටත පරිසරය මනා සේ පවත්වා ගෙන යන බවට වගබලාගන්නා නිවැසියන් හා සහ සිතුවම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අභිමානයෙන් පසුවන ළමුන්ගේ සිට වසා දැමූ රාක්කවල දූවිලි වැකෙමින් පැවති කලා නිර්මාණ හා පින්තාරු නිර්මාණ අභිමානයෙන් යුතු ව ප්‍රදර්ශනය කරන ප්‍රාදේශීය වෙළඳසැල් හිමියන් දක්වා, සෑම වැසියෙකු ම පාහේ කලාව වර්ණනා කරයි. ප්‍රසිද්ධ ආපනශාලා ජාල පවා ඒවායේ පෙර පැවති ඒකාකාරී අභ්‍යන්තර පරිසරයට හෝලොග්‍රැම් ප්‍රක්ෂේපණ හා ඔවුන්ට ම ආවේණික පරිදි නිර්මාණය කරන ලද මතක සටහන් පෙට්ටි ආදී කලාත්මත අංග එක්කොට ඇත. ඉන්දීය කලා උළෙල වැනි මහා පරිමාණයේ උත්සව අවස්ථා සමගින් වීදි සිතුවම් කලාව කෙරෙහි නව ගෞරවයක් ඇතිකිරීමට දිස්ත්‍රික්කය කටයුතු කර ඇත.  එහි දී, මෙම පෙබරවාරි මස ප්‍රදේශය පුරාවට සංචාර සංවිධානය කිරීම සහ කලාගාර මහත් කැමැත්තෙන් තම ලේඛනවල වීදි චිත්‍ර ශිල්පීන් නිරූපණය කිරීම ආදිය දක්නට ලැබේ.

විවිධ විදහාපෑම් ඇති, මව් චරිතයක පිළිරුව ඇඳීමට ඉන්දීය කලාශිල්පී බ්ලේස් ජෝසප් තීරණය කළේ ය.

ව්‍යාපෘතිය

2015 වර්ෂයේ බිත්ති 3ක් ආශ්‍රිතව කළ අත්දැකීමක් ලෙස ආරම්භ කරනු ලැබූ මෙකී ව්‍යාපෘතිය මෙම අදහස බිහිකිරීමට හේතුවිය. මෙහි පිටුපස සිටින පුද්ගලයන් වන St+art (Street+Art) India රාජ්‍ය නොවන සංවිධානය වටහා ගත් කරුණක් වූයේ සිතුවම් දිස්ත්‍රික්කයක් සඳහා අවශ්‍ය ව්‍යාප්ත වූ බිත්ති, පළල් මාවත් හා නිරවුල් සැලැස්මක් ආදී සියල්ලක් ම ලෝධි ජනපදය සතු වූ බව යි. 2016 වර්ෂයේ දී, ලෝධි කලා උළෙලේ කොටසක් ලෙස සිතුවම් ගණන 25ක් දක්වා ව්‍යාප්ත වූ අතර, 2016 දී සිතුවම් දිස්ත්‍රික්කය නිර්මාණය විය.
මෙම වර්ෂයේ දී, ජාත්‍යන්තර චිත්‍ර ශිල්පීන් හට පවා ඔවුන්ගේ වර්ණ මෙම බිත්ති මත මුහු කිරීමට ආරාධනා කෙරුණි. සජීඩ් වජීඩ්, සමීර් කුලාවූර් හා හනීෆ් කුරේෂී ආදී ඉන්දීය චිත්‍ර ශිල්පීන් හා නෙදර්ලන්ත ජාතික ඩෑන් බොට්ලෙක්, සිංගප්පූරු ජාතික යොක් සහ ෂ්රෙයෝ සහ ජපාන ජාතික යෝ නගාවෝ ආදී ජාත්‍යන්තර චිත්‍ර ශිල්පීන්ගේ කලා නිර්මාණ අද වන විට මෙම ප්‍රදේශයේ දක්නට ලැබේ. උත්සවය විවෘත කිරීමට පෙර, ඊට සහභාගී වීම සඳහා ආරාධනා කරමින් අසල්වාසී නිවාස 7500කට පමණ ප්‍රශ්නාවලි පත්‍රිකා බෙදාදෙන ලදී.
උත්සවය ආරම්භ කළ අවස්ථාවේ දී, කලාව සැබැවින් ම ප්‍රජාතාන්තීය කිරීමේ සහ අයත්බව සහ ප්‍රජාව කෙරෙහි ඇති අභිමානය පිළිබඳ හැඟීමක් ඇති කිරීමේ ප්‍රයත්නයක් වශයෙන් චිත්‍ර ශිල්පීන් හා නිවැසියන් විසින් පින්තාරු කරන ලද “සාත් සාත්” නැමැති බිත්තිය එහි විශේෂාංගයක් ලෙස ඉදිරිපත් කෙරුණි.

දේශීය කලාශිල්ප ක්‍රම සඳහා ද ලෝධි ජනපදයේ බිත්ති මත ඉඩ හිමි ව ඇත.

චිත්‍ර කලාව සුවිසල් පේක්ෂක ජනතාවක් වෙත රැගෙන යාම හා කලාව සියලුදෙනා හට සමීප කරලීම St+art ප්‍රාරම්භකයන් වන අර්ජුන් භාල්, අක්ෂාත් නෞරියල්, තනීෂ් තෝමස්, හනීෆ් කුරේෂී හා ගිඋලියා අම්බ්‍රෝගී යන අයගේ අවශ්‍යතාව වේ. ගතානුගතික ස්ථාන තුළින් කලාව ඉස්මතු කිරීම හා එය නගර භූ දර්ශනය තුළ ගැබ් වූ කොටසක් බවට පත්කිරීම මෙම සංවිධානයේ අරමුණ වේ. “පොදු ස්ථානවල දැකිය හැකි සිතුවම් පුද්ගලයන් බලගන්වන අතර සීමාමායිම්වලින් ඔබ්බට සිතීමට ඔවුන්ට හැකියාව ලබා දෙනවා. එය පුද්ගලයන් අතර සංවාදය සඳහා අවස්ථා විවර කරදෙනවා.” යනුවෙන් ඔවුහු පවසති.

ලෝධි කලා උළෙල අතරතුර සාම්ප්‍රදායික ජනසංගීත ඉදිරිපත් කිරීමක් රසවිදින ළමුන්

ඉදිරි ගමන

සමාජමය හා සංස්කෘතික සන්දර්භයට අදාළ වන ආචාර විධි පිළිගනිමින්, එනම් අමිහිරි දේශපාලන හෝ ආගමික සංකල්පරූප නොමැති ව, මෙම කලා නිර්මාණ වන විනාශ කිරීම්, කාලගුණ වෙනස්වීම් හා සමාජයේ විවිධත්වය ආදී යතාර්ථයන් ද පිළිබිඹු කරයි. මේ හැරුණු විට, St+art’s සහ Access for All අතර ඇති සහයෝගිතාව හේතුවෙන්, ස්පෘශ්‍ය අංග අයත් බිත්ති 5ක් සහ අන්ධ ළමයින් සඳහා විශේෂයෙන්ම සකසන ලද සංචාර මාවත් සඳහා මංපෙත් විවර වී ඇත. වර්තමානයේ මෙම ව්‍යාපෘතිය සඳහා යුරෝපීය සංගමය සහයෝගය දක්වයි. දැකීමට ඉතිරි ව ඇත්තේ පොදු ස්ථානවල සිතුවම්වල නිරන්තර බලපෑම සහ බහුවිධ සහයෝගීත්වයේ පරිණාමයයි. මෙම වෙනස ඇතිවීමට පිටුවහලක් වූයේ ලෝඪී සිතුවම් දිස්ත්‍රික්කය බවට කිසිදු සැකයක් නොමැති අතර මෙම ගමන සම්බන්ධයෙන් කරන එළිදරවුව එහි කොටසක් වීම සඳහා ජනතාවට අත්‍යවශ්‍ය වේ.

විසින්: ෂලීන් වධ්වානා සහ පටාන්ජලී පණ්ඩිත්

ෂලීන් වද්වානා

ෂලීන් වධ්වානා සිතුවම් සම්බන්ධ පිළිගත් ලේඛිකාවක වේ. කලා ඉතිහාසය හා නිදහස් කලාව පිළිබඳ ශාස්ත‍්‍රීය වශයෙන් පුහුණුව ලබා ඇති ඇය පේ‍්‍රක්ෂක ජනතාව කලාව වෙත වඩාත් සමීප කිරීම උදෙසා කලාව ඉගැන්වීම, ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම හා ලිවීම සිදුකරයි.

පතංජලී පණ්ඩිත්

පාටාන්ජලී පන්ඩිත් යනු කොළොම්බියා විශ්වවිද්‍යාලයේ සහ ලන්ඩන් ආර්ථික පාසලේ උපාධිධරයෙකි. ඔහු වර්තමානයේ දී ආරාක්ෂාව සහ යටිතල පහසුකම් කර්මාන්ත අංශවල දේවය කරන අතර, විවිධ ප‍්‍රකාශන සඳහා නිරතුරුවම තම දායකත්වය ලබා දෙයි.
error: Content is protected !!