අමතක කරන ලද වියමන
අවුරුදු 4000ක් පැරණි අතින් වියන ලද කුන් නැමැති රෙදිපිළි නිර්මාණයෙහි අපූර්වත්වය වෛශාලී ෂදන්ගුලේ විසින් ගවේෂණය කරන විට එය පැවතියේ බොහෝදුරට නෂ්ටවය. ඇගේ ගමන්මග හා සිතුවමේ පුනර්ජීවනය අප විසින් නැවත සොයායන්නෙමු.
පැරණි සංකීර්ණ ගෙත්තම් රටාවක් ඇති ඛුන්හි කුඩා සියුමැලි මෝස්තර අංග මගින් තිත් වැටී ඇත. එය යේසුතුමා අවසන් භෝජනයේ දී භාවිත කළ බඳුන ගවේෂණය කිරීමට සමානකම් දැරී ය. එය ඉන්දියාවේ දුර්ලබ අත්යන්ත්‍ර වියමනක් වූ ඛුන් හෝ ඛානා ගවේෂණය කිරීම විය. සාම්ප්‍රදායික ව උතුරු කර්නාටක හා මහාරාෂ්ටයේ මරත්වාදා හා විධර්භ යන ප්‍රදේශවල සමහර ස්ථානවල වසන කාන්තාවන් ප්‍රියකරන මෙම සැහැල්ලු කපු හෝ අතින් වියන ලද කපු පට රෙදිපිළි එකී ප්‍රදේශයෙන් ම එන ඉල්කාල් සාරි සමග ඇඳීමට රවිකේ හෝ චෝලි (හැට්ට) මැසීමට භාවිත කරයි. කලක එම ප්‍රදේශයේ ග්‍රාමීය කාන්තාවන් අතර ප්‍රධාන වෙළඳාමක් ව පැවත, සියවස් ගනණාවක් ඇතුළත මෙන්ම පෙහෙකම්හල්වල ආක්‍රමණයට හසුව, මුල් කාලීන අත්යන්ත්‍ර රෙදිපිළි බොහෝදුරට වියැකී ගොස්, අතහැර දමන ලදු ව හෝ සෙමින් මියයන අවස්ථාවක් අභිමුඛ ව පවතී. මුම්බායි ආශ්‍රිත විලාසිතා නිර්මාණකරුවකු වන වෛශාලී ෂදන්ගුලේ රෙදිපිළි ක්ෂේත්‍රයට පිවිස නැවත ගවේෂණය කිරීමේ ගමන්මගකට පිවිස සිටියේ එම කාලයේ ය. මුම්බායි හෝ පූනේහි වෙළඳපොළ කිසිවකු බනාරාසි වැනි සුවිශේෂී පලුවැඩ රටාවක් ඇති එම රෙදිපිළි නිර්මාණ දැක තිබුණේ නෑ. ඒක අභාවයට ගිහින් ඇති බවයි පෙනුණේ,” යනුවෙන් ෂදන්ගුලේ පැවසුවා ය. පර්යේෂණ කිහිපයකින් අනතුරු ව, ඇය 2012 වසරේ දී ඛුන් සඳහා නිවහන වූ කර්නාටක, බගල්කොට් දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා, සුවිශේෂී නොවන ගම්මානයක් වන ගුලේද්ගුද්දා වෙත පැමිණියා ය.
කලක ගුලේග්ගුද්දා ගම්මානය අත්යන්ත්‍ර වියමන් සඳහා වූ සමෘද්ධිමත් මධ්‍යස්ථානයක්ව පැවති අතර සෑම නිවසකම රෙදි වියන යන්ත්‍රය බැගින් තිබූ අතර පවුලේ සෑම සාමාජිකයකුම රෙදිපිළි විවීමේ කටයුත්තේ නියැලී සිටීය. වියමනෙහි ආරම්භය පිළිබඳ නිශ්චිත ඓතිහාසික සාක්ෂි නොමැති වුව ද, චාලුක්‍ය රාජවංශය මෙම ප්‍රදේශයේ බලය පවත්වාගත් කාලයේ එනම් අටවන සියවසේ එය ආරම්භ වූ බවට ජනශ්‍රැති පෙන්වා දේ. මෙම ගම්මානයේ සිටින වියන්නන් මෙකී රෙදිපිළි විවීමට ආරම්භ කළේ ඉල්කාල් සාරි සමග ඇඳීමට බව පැවසේ. තව ද, ආගමික උත්සව කාලවල දී, මෙම රෙදිපිළි ත්‍රිකෝණ හැඩයට නවා, සාරියක් මත තබා දේවතාවියට පිරිනමන ලද බවට ද පැවසේ.
මෙම රෙදිපිළි කුඩා සමචතුරස්‍රවලට නවන රටාව හේතුවෙන් ඒවාට එම නම වන ඛුන් හෝ ඛානා ලැබුණු බවට සමහරු පවසති. රෙදිපිළිවල අද්විතීය මෝස්තර අංග සඳහා ස්වභාව ධර්මය හා පුරාණ ප්‍රවාද අභාසය සපයා ඇත. අවාසනාවකට, වර්තමානයේ මෙවැනි බොහෝ ඉපැරණි සම්ප්‍රදායන් උචිත නොවන්නාක් මෙන් කුන් නිර්මාණ සඳහා ද එවැනි තත්වයක් උදා වී ඇත. සාම්ප්‍රදායික නිර්මාණ බොහෝ දුරට නෂ්ට ව ඇත. තව ද, සැබෑ වියන්නන්ගේ පරම්පරාව ද වියැකී ඇති අතර, තවමත් සිටින කිහිපදෙනා පෙහෙකම්හල් සඳහා යොමු වී ඇත. “අවුරුදු 5කට පෙර මම මෙම ගම්මානයට පැමිණෙන විට, අත්යන්ත්‍ර 500ක් පමණ තිබුණා,” එය දශක කිහිපයකට පෙර තිබූ 4000ක් වැනි සංඛ්‍යාවේ සිට සිදු වූ ප්‍රබල පරිහානියකි. “මා සිටියේ නිව්යෝර්ක් නුවර. මම ඇමරිකාවේ සිට ඉන්දියාවට පැමිණියේ දිගු කාලයකට පස්සේ. රෙදිපිළි නිර්මාණ ඒ වන විට ද අතහැර දමා තිබූ බවට මට වැටහුණා.”

“හැම දෙනා ම කතා කරමින් සිටියේ චන්දේරි, බනාරාසි, මහේශ්වරී පිළිබඳවයි. එ් නිසා කිසිම කෙනෙක් ඛුන් පිළිබඳ දැන සිටියේ නෑ.” යනුවෙන් ඇය පවසා සිටියා ය. මෙම රෙදිපිළි නිර්මාණ පුනර්ජීවනය කිරීමට දැඩි සේ සිත් ඇති ව, ඇය ගුලේද්ගුද්දා වෙත ආ අතර ඇගේ පුදුමයට හේතු වෙමින් ඈ හට සොයා ගත හැකි වූයේ වැඩකරන තත්වයේ තිබූ එක් රෙදි වියන යන්ත්‍රයක් පමණි. ඇය සිය කාර්යය ආරම්භ කළේ රෙදි වියන යන්ත්‍ර 50ක් තෝරා යථා තත්වයට පත් කරමින් හා රෙදිපිළි නිර්මාණ ගෝලීය නාගරික පිරිස අතර ප්‍රචලිත කිරීම සඳහා වන පුනර්ජීවන සැලැස්මක් වියන්නන් සමග එක්ව හිඳ සැලසුම් කරගනිමිනි. “එය සංකීර්ණ පලුවැඩ වියමනක් වන අතර එය ඉතා සැහැල්ලු ද වනවා,” යනුවෙන් පැවසූ ෂන්දුග්ලේ වැඩි දුරටත් පවසා සිටියේ ඇයට ඛුන් නිර්මාණ ඒලෙසට ම ඉදිරිපත් කිරීමට උවමනා වූ හෙයින් ඇය වියන්නන් අත්යන්ත්‍රයෙන් සාදන නූතන වර්ණ ද භාවිත කළ බවයි. “ඔබ කුමන ගම්මානයට ගිය ද, එහි මිනිස්සු යාවත්කාලීනයි. ඔවුන් විලාසිතා රටාවක් අනුගමනය කරන්නෑ. නමුත් ඔවුන් ස්වභාව ධර්මය සමග සමීප ව කටයුතු කරනවා. ඒ නිසා කොළ පැහැති වර්ණ, ලෝහමය වර්ණ, වයින්, අබ හා ප්‍රතිදීප්ත කොළ වර්ණ ආදියෙහි සංයෝග තිබෙනවා.” යනුවෙන් ඇය පවසයි.
වෙහෙසකර විවීමේ ක්‍රියාවලිය විස්තර කරන ෂන්දුග්ලේ මෙලෙසින් පවසා සිටියි. “ රෙදිපිළි නිර්මාණයේ එක් කැබැල්ලක හෝ වර්ණයක් වෙනස් කරන විට, වියන්නා හට රෙදි වියන යන්ත්‍රය මත කැටිනූල් 4000ක් පමණ අතෙන් සම්බන්ධ කරන්න වෙනවා. මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න මුළු දවස ම ගතවෙනවා. ගතවන කාලය එකසමාන වුණත් ඉපයීම් බාගයකටත් වඩා අඩුවෙනවා. වියන්නෙකු උපයන්නේ දවසට ම රුපියල් 400ක් පමණ යි!” අවුරුදු 15ක් තිස්සේ වියමනේ යෙදී සිටින අවුරුදු 40ක් වයසැති රාජු මෝස්තර නිර්මාණකරුගේ ප්‍රධාන වියන්නා වේ. ඔහු පවසන්නේ වඩාත් සශ්‍රීකමත් කාලවල දී, රෙදි වියන යන්ත්‍ර ක්‍රියා කළ 50,000කට අධික පුද්ගලයන් ප්‍රමාණයක් ගම්මානයේ ජීවත් වූ බව යි. “අමුදුව්‍ය හා රෙදිපිළි එකට යා කිරීම සඳහා වූ ඒකක සායම් කිරීම හා විවීම ඔවුන් සිදුකරනවා. “

ඔහු පවසන පරිදි වර්තමානයේ, මෙම කලාව අනුගමනය කරන පවුල් කිහිපය එය සිදුකරන්නේ විනෝදාංශයක් මිස මුදල් සඳහා නොවන බව ය. “ඛුන් යනු සුන්දර ඒ වගේ ම කලාත්මක වියමනක්. ඒක නිපදවන්න පුළුවන් මේ ගම්මානයේ දී විතරයි. ඒක අප්‍රාණික ද්‍රව්‍යක් පමණක් ම නෙවේ, ඒක සම්ප්‍රදායක් ද වෙනවා. ඒක ගම්මානයේ කාලගුණය, මෝස්තර අංග, එදිනෙදා ජීවිතය හා පරිසරයෙන් පවා අභාසය ලැබූවක්.” යනුවෙන් චන්දේරී හා පයිතානී වියන්නන් සමග මින් පෙර නිර්මාණයේ යෙදී ඇති නිර්මාණකරුවා විස්තර කරයි. 2012 හා 2014 වර්ෂවල දී, ඇය ඛුන් ආශ්‍රිත නිර්මාණ එකතු 2ක් ඉන්දියාවේ පැවැත් වූ විලාසිතා දැක්මවලදී ප්‍රදර්ශනය කළාය. එහි දී ලැබූ ධනාත්මක ප්‍රතිචාරය තවත් සමකාලීන එකතුවක් නිර්මාණය කිරීමට ඇය පෙලඹූ අතර එය 2018 වර්ෂයේ දී ඉන්දියාවේ ප්‍රසිද්ධත ම මෝස්තර ප්‍රදර්ශනය වන දිල්ලි නුවර පැවැත් වූ India Fashion Week හී ප්‍රදර්ශනය කෙරුණි. “පුනර්ජීවනය කිරීම සම්බන්ධ මගේ අදහස නම්, රෙදිපිළි නිර්මාණයේ ප්‍රාණය හා කාර්යය ඒ ආකාරයෙන් ම පවත්වාගෙන සමකාලීන පිරිසක් සඳහා ගැළපෙන පරිදි එය නිර්මාණය කිරීමයි. රෙදිපිළිවල තම සමට ලබාදෙන සැපපහසු හැඟීමට සහ ඒවායේ පිටතින් පෙනෙන කාන්තියට පුද්ගලයන් ප්‍රියතාවක් දක්වනවා.” ”
ඇගේ නවතම එකතුවේ, දේශීය තැඹිලි, කොළ හා රෝස වර්ණ ලෝකඩ, රන්වන් හා අළු වර්ණ සමග මුසු කරමින් ඇය සාම්ප්‍රදායික වර්ණ ඵලකය ව්‍යාප්ත කොට ඇත. මෙම වර්ෂයේ ජූනි මාසයේ, නිව්යෝර්ක් නුවර දී ඛුන් නිර්මාණ 40කින් සමන්විත එකතුවක් නිර්මාණකරු විසින් ප්‍රදර්ශනය කරනු ඇති අතර තව ද ගවුම් හා ජැකට් වලින් සමන්විත නිර්මාණ 45ක එකතුවක් ලෝක ප්‍රසිද්ධ නිව්යෝක් විලාසිතා සතියේදී ද ප්‍රදර්ශනය කරනු ඇත. ජූලි මාසයේ මෙම සුන්දර රෙදිපිළි යොදාගනිමින් ප්‍රථම වරට ඉන්දියාවේ ඉන්දීය කාන්තා ඇදුම් නිර්මාණ ප්‍රදර්ශනයක් පැවැත්වීමට ද ඇය සැලසුම් කරමින් සිටියි. “මම උත්සහ කරන්නේ වියන්නන් සාදන කුමන හෝ දෙයක් ඔවුන්ගෙන් රැගෙන මම ඔවුන්හට මාසයකට නිශ්චිත මුදලක් ගෙවන බවට ඔවුන් හට සහතික වීමට යි. මම රෙදිපිළිවල තත්වය වැඩිදියුණු කර ඇති අතර නිර්මාණ නවීන ආකාරයට සකසා තිබෙනවා. නමුත් මගේ පළමු අරමුණ වන්නේ වෙළඳාම ගම්වැසියන්ට නැවතත් ලාභදායී වන පරිදි සැකසීමයි.” ඛුන් නිර්මාණ පුනර්ජීවනයේ දී මතුවන තවත් අභියෝගයක් නම් හැට්ට සඳහා අවශ්‍ය රෙදි කැබලි සැපයීම සඳහා සාම්ප්‍රදායික රෙදි වියන යන්ත්‍ර ප්‍රමාණයෙන් කුඩා වීමයි. ගුලේද්ගුද්දා ඛුන් වියන්නන් සමූහයක් බිහිකිරීමට මෙන් ම වාණිජ වශයෙන් හා නිර්මාණාත්මක වශයෙන් වඩාත් ගැළපෙන රෙදිපිළි යාරගණන් නිෂ්පාදනය කිරීමට වඩාත් විශාල රෙදි වියන යන්ත්‍ර බිහි කිරීමට ෂදන්ගුලේ මේ වන විට කටයුතු කරමින් සිටියි.

තව ද, ඇගේ රෙදිපිළි නිර්මාණයට අමතරව, ගෘහ භාණ්ඩ හා ගෘහ අලංකරණ සඳහා ද ඛුන් භාවිත කිරීමට ඇය සැලසුම් කරමින් පවතී. ඇගේ දායකත්වය ඉතා සුළු බව ද, මෙම අපූර්ව රෙදිපිළි නිර්මාණය සම්බන්ධයෙන් බොහෝ දෙනා දැනුවත් කළ යුතු බව ද ෂදන්ගුලේ පවසයි. “නිමා කිරීම සඳහා මාස 4ක් පමණ ගතවන සාරියක් මැසීම සඳහා පැය ගණනක් රෙදි වියන යන්ත්‍රයක් අසල ගතකරන වියන්නකුගේ දුෂ්කර කටයුත්ත සම්බන්ධයෙන් අපගේ ගෞවරය හිමි විය යුතුයි. මේක කලා නිර්මාණයක්. රෙදිපිළි නිර්මාණයක් ම පමණක් නොවෙයි. මෙම කටයුත්තෙන් වියන්නාට හා ඔහුගේ පවුලට මුදල් හා ගෞරවය ලැබුණු විට පමණයි ඉදිරි පරපුර හට මෙම සම්ප්‍රදාය ඉදිරියට ගෙන යා හැක්කේ.” යනුවෙන් ඇය පවසයි.
රාජු කෙටියෙන් පවසන පරිදි ඇගේ ප්‍රයත්නය ගුලේද්ගුද්දා ගම්මානයේ වියන්නන් හට බලාපොරොත්තුවේ සේයාවක් ලබා දී ඇති බව පෙනේ. “මම නැවත රෙදි වියන යන්ත්‍රයේ වැඩ කරන්න කැමතියි. මම වියන රෙදිපිළි වලින් ලස්සන ඇඳුම් නිර්මාණය වෙලා ඒවා ලෝකය පුරා ප්‍රදර්ශනය වෙනවා දැක්කාම මට ආඩම්බරයක් දැනෙනවා. රෙදි වියන යන්ත්‍ර හා කර්මාන්තය ආරක්ෂා කරගන්න එය මාව පොලඹවනවා. මම මගේ දරුවන්ටත් උගන්වන්න බලාපොරොත්තු වෙනවා.”